Sunday, January 15, 2017

පුංචි දුවේ


හා හා පුරා කියලා මේ අවුරුද්දේ අපේ ලොකු සර් මට හය වසරෙ පංතිය භාර දුන්නා. සර් කියන විදියට නම් දැන් ඒ පැටවුන්ගෙ ඉස්කෝලෙට ඉන්න අම්මා මම. ප‍්‍රාථමික අධ්‍යාපනය හමාර කරල ද්විතීයික අධ්‍යාපනයට ආපු ඒ අලූත් පොඩි උන් ටික ටීචටත් දවසින් දවස අලූත් අත්දැකීම් අරගෙන එනව. පොඞ්ඩ බැරි උන ගමන් මාව හොයාගෙන දුවගෙන එන ඒ දරුවො දැන් මාව ඉස්කෝලෙට ලං කරන යදමක් වගෙයි.
අද මගේ පොඩි කෙලි පැටියෙක් ඉස්කෝලෙදි ලොකු ලමයෙක් වෙලා. පන්තියේ  අනිත් දු පැටවු ටික මාව හොයාගෙන දුවගෙන ඇවිත් මට රහසින් පණිවිඩය කිවුවා. මගේ කුසින් උපන් දියණියක නොවුනත්  ටීචගෙ නෙතෙත් පුංචි සතුටු කදුලක්!
අලූතින් තටු පිල් තටු ආපු මොණරියක් වගේ ඉන්න දෝනිව ඇගේ අම්මා ඇවිත් කඩිමුඩියෙ සුදු රෙද්දකින් වහගෙන දෝණිව ගෙදර එක්ක යද්දි ගුරු මව කියන වචනෙ තේරුම මට මේ දැනෙන හැඟීම වෙන්න ඇති කියල මට හිතුනා.
ඒවගේම මට මතක් වුණා ඉස්සර අපේ චූටි අයිය මට ලියල දීපු කවියක්. දැන් නම් ලොකු ලොකු අයට චූටි අයිය සින්දු ලිව්වට මුල්ම සින්දුව ලිව්වේ මේ පුංචි නංගි වෙනුවෙන් නේද කියලා සියුම් ආඩම්බරේකුත් මගේ හිතට දැනුනා.
කිරිබත් තසිමක් කුස්සිය මැද්දේ
පැලට උඩින් තරු දිලෙන වෙලේ
පුංචි නංගියත් නැහැ නොවැ සද්දේ
පිට්ටුද ඒ හූ කියන කටේ

නලාව අරගෙන මුලු ගේ හොල්ලන
බොලඳිය නෑ නෙත ගැටෙන ඉමේ
මෙන්න බොලේ ඈ කැඩපත අද්දර
පිල්තටු දැන් ලැබු මොණරිය සේ

නලාව අතහැර පනාව අරගෙන
පැංචියෙ මට වැටහුණා හොරේ
හැඩ රැක ගන්නා සේම ගතේ ඔය
නමේ හැඩත් රැක ගනින් නගේ

මටත් මෙග් පන්තියෙ පුංචි දූට කියන්න ඕන වුණා හැඩ රැක ගන්නා සේම ගතේ ඔය
නමේ හැඩත් රැක ගනින් දුවේ’’ කියල.


Saturday, January 14, 2017

නුඹ

ඉරිතලා ගිය වියලි කතරට වැටෙන මහ සැඩ වැස්ස නුඹ විය
වේලිලා ගිය මලට පණ දෙන ජීවයේ පිණි බිඳුව නුඹ විය
දාහයෙන් පීඩිතිව ගිය ගත නිවන සුදු මුදු සුළඟ නුඹ විය
නොමිනිසුන් මැද මිනිස්කම රැඳි ප්‍රේමයේ දෙව්රුවම නුඹ විය

රුක් අත්තන මල්

රුක් අත්තන මල්..........................!!!
ඉඩෝරය අවසන් කරපු රජරට අහස අනෝරා මහ වැසි අරං ඇවිත්.. පහුගිය කාලේ දුඹුරු පාට වෙලා තිබුණු පරිසරය නිල් පාටින් බබලන්න පටං අරන්.ඉස්කෝලේ ප්‍රධාන මිදුල මැද තියන ලොකු ගහක සුදු පාට පුංචි මල් පොකුරු පොකුරු පිපිලා.. මොන වගේ සුවඳක්ද කියල විස්තර කරන්න බැරි, සමාන කරන්න පුළුවන් උපමා මම දන්නෙ නැති අමුතුම මිහිරි සුවඳක් ඒ මල් වලින් මුළු පරිසරයටම බෙදනවා. ඒ සුවඳ ගැඹුරු සුවඳක්... ගහ පුරාම සමනල්ලු පිරිල ඉන්නවා. මිදුලෙ ඇවිදිද්දි ඇඟේ හැප්පෙන තරමටම සමනල්ලු ඇවිත් ඒ සුවඳ විඳින්න. උදේට යනකොට මල් ගහ යට සුදු පාටට පාවඩයක් අතුරල වගේ.



ඉස්කෝලේ පුංචි පැටවු නම් මට කිවුවෙ ඒ රුක් අත්තන ගහක් කියලා.
මල් පිපෙන්නෙ හැන්දෑවටළු. කාලෙකට විතරලු මල් පිපෙන්නෙ. ඒ වගේම සර්ප විෂට බෙහෙතක් විදියටත් රුක් අත්තන ලී ගන්නව කියල මට කියල දුන්නා.
ගමේදි නම් අපි රුක් අත්තන කිවුවෙ කහ පාට ලොකු මලකට. ඒත් ඒ මල් මේ පුංචි මල් පොකුරු තරම් සුවඳ නෑ. මට මතක් උණා නන්දා මාලනියන්ගෙ සින්දුවක්..

    රුක් අත්තන මල මුදුනේ    බඹරු නටන හැන්දෑවේ
    සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ



ඇත්තටම රුක් අත්තන කියන්නෙ මේ පුංචි මල් වලට වෙන්න ඇති කියල ඒ සින්දුව මත්ක වුණාම මට හිතුණා.

ගුරු දිවියේ පළමු පියවර....

බලාපොරොත්තු, කුතුහලය, භය, පාළුව හදවතට තුරුල් කරගෙන ඇස් දෙකට උනපු කඳුළු කැට වැහෙන්න හිනාවක් මුවට පුරෝගෙන රජරටට ඇවිත් සතියක් ගතවෙලා.

අව්ව නම් ටිකක් සැරයි.. ඒත් ඉස්කෝලෙ පුංචි පැංචියන්ගෙ හිනාවෙන් ලෙන්ගතුකමෙන් දුවිල්ලෙ, අව්වෙ සැර අඩු වෙලා දැනෙනවා. ජාතික පාසලක ඉගෙනගෙන ජාතික පාසලක සීමා වාසික පුහුණුව සම්පූර්ණ කල මට දැන් අළුත්ම අත්දැකීමක්... ඉස්කෝලෙටම ඉන්නෙ ළමයි දෙසීයකට ආසන්න ගණනක්!! එයිනුත් භාගයක් ප්‍රාථමික අංශය.  මෙතෙක් කල් මම දැකපු අව්‍යාජතම සිනහව හැමදාම උදේට computer lab එක වට කරගන්න පුංචි උන්ගෙන් මම අද දකිනවා. සුදු ගවුමෙ කහ මැකෙන්න හිනා කටක් මූණට අරගෙන ඉරුන ගවුමෙ රැල්ල ඉනට තියලා කටුවක් ගහගෙන ජීවිතේට නැණ වඩන්න දිරි දරන පුංචි උන් එක්ක ගත වෙන කාලය හරිම සුන්දරයි. ඉස්සර ඉස්කෝලෙදි 10, 11 ළමයි මගෙන් අහන්නේ ටීච අපි internet යන්නද කියල? ඒත් අද මගේ 10, 11 පන්තියෙ ළමයි අහන්නේ ටීච අපි චිත්‍රයක් අඳිමුද කියලා..

අළුත්ම අළුත් computers 10ක් එක්ක සියළුම පහසුකම් සහිත lab එකක් තිබිලත් උගන්නන්න ටීච කෙනෙක් නැති නිසා ඒ අහිංසක දරුවො lab එක වහල යතුරු අරං තියල තිබුනා. ඒත් මම දන්නවා නගරයේ සමහර පාසල් වල පරිගණක සංඛ්‍යාවටත් වැඩිය පරිගණක ගුරුවරු ඉන්න බව. ඒ කොතනක හෝ සිදුවන වරදක් නිසා.. සමහර විට බෝඩ් ලෑලි උස්සගෙන නිදහස් අධ්‍යාපනයේ සම අයිතීන් ඒ දරුවො ඉල්ලන්නෙ නැති නිසාද දන්නෙත් නෑ.

කොහොම උනත් ඇත්තටම ඒ දරුවො අහිංසකයි. අද මම lab එකේ ඉන්නකොට අපූරු ගීතයක් ඇහුනා පොඩ්ඩො ටිකක් තාලෙට ගායනා කරනවා.

      අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැඳි වලමයි
      ඉන්නකො මං ගුරු ගෙදරට ගිහින් කියන්නම්...
      ගිහින් කියල මේ බැද්දෙදි අල්ලා දෙන්නම්..


            මම ආයෙමත් හිතුව පොරකය දෑස මානේ... කිය කිය කොන්ඩෙ ජෙල් ගගා කෙලින් කරන මහ මිනිස්සු වෙන්න දඟලන සුප්‍රසිද්ධ පාසල් වල ළමයින්ට වඩා මේ දුෂ්කර ගම්මානෙ පුංචි උන්ගෙ හිත් මොන තරම් ලස්සනද කියල. ඒ වගේම සතුටු උනා මම පළවෙනි පත් වීම අරගෙන මේ වගේ පාසලක සැබෑ ළමාකම රැකි දරුවන් එක්ක හිත සතුටින් වැඩ කරන්න ලැබීම වාසනාවක් යැයි හිතුන නිසාවෙන්.